Diaspora Diary

Monday, May 20, 2013

Diaspora Diary Notes- ඩයස්පෝරා දින සටහන්: නලීන් සහ දීප්ති: පාර පශ්චාත් යටත් විජිතයේ දාර්ශනික...

Diaspora Diary Notes- ඩයස්පෝරා දින සටහන්: නලීන් සහ දීප්ති: පාර පශ්චාත් යටත් විජිතයේ දාර්ශනික...: හැඳින්විම පශ්චාත් යටත් විජිත ලංකාව තේරුම් ගැනීම හා නැවත ගොඩනැංවිම යන ප්‍රවාදයන් මත කරන ලද හා කරමින් සිටින්නාවූ විග්‍රහයන්...

නලීන් සහ දීප්ති: පාර පශ්චාත් යටත් විජිතයේ දාර්ශනිකයන් ලෙස



හැඳින්විම
පශ්චාත් යටත් විජිත ලංකාව තේරුම් ගැනීම හා නැවත ගොඩනැංවිම යන ප්‍රවාදයන් මත කරන ලද හා කරමින් සිටින්නාවූ විග්‍රහයන් අප්‍රමාණව විවිධ විෂයයන් ඔස්සේ කියවිය හැකිය. එම කියවීම් ශාස්ත්‍රාලීය පර්යේෂණ අධ්‍යයනයන්ගේ සිට අනෙකුත් උගත් බුද්ධිමතුන්ගේ දැනුම් සහ ප්‍රායෝගික අභ්‍යාසයන්ගෙන් සංයුක්තව සමාජය තුල විවිධ හැඩයන්ගෙන් ස්ථාපිත වී ඇත. සංවර්ධනය, දියුණුව, සමෘධිය, සාමය සංහිඳියාව, සමානාත්මතාව ආදී නොයෙකුත් සුභවාදී පරමාර්ථ පෙරදැරි කරගෙන සියලු දේශපාලන පක්ෂ සංවිධාන ඇතුලු සියල්ල තම ප්‍රතිපත්තියට අන්තර්ගත කරගෙන ඇත.  මෙකී තේරුම් ගැනීම හෝ නැවත ගොඩ නැංවීම යන අදහස තුල එක් අතකින් ගම්‍යමාන වන අරුත වන්නේ පවත්නා සමාජ ක්‍රමය යටත් විජිත පාලන ක්‍රමයේ සංතතික දිගුවක් බවය. ඓතිහාසිකව පැමිණි ස්වභාවික පරිනාමීය සමාජ ගමනට බලහත්කාරයෙන් ස්ථාපිත කරන ලද නව සමාජ ක්‍රමය වන්නා වූ යටත් විජිත ධනවාදය හා බටහිර ආර්ථික සමාජ සංස්කෘතික අගයයන් විසින් පැවැතුණු සාම්ප්‍රදායික සමාජ ක්‍රමය විනාශයට යොමු කර ඇති බව යන්න ප්‍රධාන පෙළේ තේරුම් ගැනීමකි. එය හොඳ සහ නරක, කළු සහ සුදු, අතීතය නූතනය, බටහිර හා පෙරදිග, දියුණු හා නොදියුණු යන ද්විත්ව ප්‍රතිවරෝධතාවන් හැඟවුම් කරනු ලබයි. එම තේරුම් ගැනීම ජාතිකවාදී මතවාදයේ දී මෙන්ම මාක්ස්වාදී මතවාදයේදී ද යම් සමාන කමක් ගනු ලබන්නේ ධනවාදය හා අධිරාජ්‍යවාදය යන ප්‍රතිවිරෝධයන් සමාන ආකාරයෙන් එකට සිට ගැනීමේ දී ය. ඒ අනුව ජාතිකවාදය අතීතය දෙසට හැරී තම අනන්‍යතාව අත හැරුන තැනට පියමංකිරීමට ප්‍රයත්න දරන අතර සමාජවාදී මතවාදය අනාගතයට හැරෙමින් යුතෝපියානු රාජ්‍යයකට සිහින මවන්නේය. මෙම මතවාදයන් දෙකටම ධනවාදය හා අධිරාජ්‍යවාදය හැරුණු විට හමුවන ප්‍රධාන අනෙක් ප්‍රතිවිරෝධය වනනේ බහුතර සිංහල ජනකායක් සහිත ලාංකීය සමාජයේ සිටින අනෙක් සුළුතර කොටසක් වන දමිළ ජනකාය ය. මෙම මහා පොදු සාධකය හමුවේ දී ජාතිකවාදය හා සමාජවාදය අතීතයට ගමන් කිරීම කරනු ලබන්නේ මහ ජාතිකත්ව අනන්‍යතාව නිර්මාණය කර ඇති ඉතිහාසය වෙතටය. ලිඛිත හා භෞතික ඉතිහාසයට අනුව සිංහල මහ ජාතිය වුවත් සුළු ජාතිය වීමේ අවිඥාණික භීතිය විසින් මෙම මහා පොදු සාධකය මෙකි මතවාදයන් දෙකටම අවසානයේ ගෙන එන්නේ ප්‍රතිගාමී සංජානනයකි. (ශුද්‍ර තලයේ ක්‍රියාත්මක සමහර වාමාංශික පක්ෂ කණ්ඩායම් මෙහි විලෝමය ද නියෝජයන කරන යථාර්ථයක් ද ඇත.)  මෙකී මතවාදයන් දෙකට අමතරව විකල්ප ලෙස පෙනෙන අනෙක් මතවාදයන් ලෙස ලිබරල්වාදී සාම මතවාදය හා සාකල්‍යවාදී මතවාදය ද ලෙස පෙළ ගැස්විය හැකිය. කුමන පෙළ ගැස්වීමක් වුවද, පශ්චාත් යටත් විජිත ලාංකීය ඉතිහාසය තුල අධිනිශ්චය වී ඇති බලසම්පන්න මතවාදය වන්නේ ජාතිකවාදී ප්‍රවේශයය. විකල්ප   දර්ශනවාදී මතවාදයක් ලෙස ඇති මාක්ස්වාදය පදනම් කරගත් සමාජවාදි මතවාදී ප්‍රකාශනය ද පශ්චාත් යටත් විජිත සන්දර්භයේ දී ලංකාව තුල අවසානයේ ගොනුවනුයේ ජාතිකවාදී මතවාදයටමය. සාකල්‍යවාදී හා ලිබරල් සාමවාදී මතවාදයන් පුළුල් ලෝක දැක්මක් පෙන්නුම් කරන්නේ වුවද, මර්ධනකාරී සාම්ප්‍රදායික රාජ්‍යයට අවනත සන්දර්භයේදී එය ද වක්‍රාකාරයෙන් ජාතික මතවාදයටම සේවය කරන අතර රැඩිකල් සමාජ වෙනසක බලාපොරොත්තුවක් තැබිය හැකි සමාජ බලවේග බිහිවීම සමස්ථ ජාතිකවාදයේ බලය තුල අකර්මන්‍ය වීම හා එය නියෝජනය කරන උගත් මධ්‍යම පාංතික චින්තනයන් සිය වෘත්තීමය හා ආයතනික ව්‍යුහයන් තුල සාම්ප්‍රදායික ලාංකිකයාම වී ඇත.
එබැවින් මේ අප ගෙවන කාල පරිච්ඡේදය යනු   පාර පශ්චාත් යටත් විජිත සන්දර්භයකි. එනම් යටත් විජිත ව්‍යුහයන්, මතවාදයන්, දේශපාලන ආර්ථික හා සංස්කෘතික ප්‍රපංචයන්ගෙන් යුත් පශ්චාත් යටත් විජිත ආකෘතිය විනිවිද යන, පරමය තත්ත්වයකට පත්ව ඇත. එය නූතන ධනවාදයේ ආනිශාංෂික ප්‍රතිපලයක කොටසකි. මෙම  දේශපාලන සමාජීය හා සංස්කෘතික තත්ත්වය තුල විකල්පය යන්න කුමක් දැයි යන උභතෝකෝටිකය තුල අතරමං වනු ඇත. ධනවාදයට විකල්පය සමාජවාදය යන ලෝක සම්මත ප්‍රවාදය ලංකාව විෂයෙහි භාවිතාවක් බවට පත්ව ඇත්තේ සම්භාව්‍ය මාක්ස්වාදයට අනුව හෝ නූතන වර්ධනයන් සහිත මාක්ස්වාදයට පදනම්ව හෝ නොව, ආකෘතික වශයෙන් ලෙනින්වාදයට හා රුසියානු මොඩලයට අනූන වූ සන්දර්භීය වශයෙන් ආපසු ජාතිකවාදයට ගමන් කරන භාවිතාවක් දැකිය හැකි  තත්ත්වයක් තුළ ය. එය අවසානයේ අධිනිෂ්චිත කාරණයේ දී ජාතිකවාදය සමග සමානව සිට ගැනීම තුල, පශ්චාත් පාර යටත් විජිත ලංකාවට පෙන්නුම් කරන සමජවාදී භාවිතාව තුල විකල්පයක් නැත. විකල්පය වන්නේ ජාතිකවාදයේම කාසියේ අනෙක් පැත්තය. මෙය ජාතික සමාජවාදය ලෙස විකල්යක් පෙන්නුම් කළ ද අග්‍රගන්‍ය මහජාතිය ලෙස ඇති මතවාදී අරටුව විසින් සුළු ජාතීන්ගේ ප්‍රශ්නයට ඇති නිසි අනන්‍යතාත්මක විසඳුමකට අවංකව නිර්මාණාත්මක නොවීම තුල ප්‍රජාතන්ත්‍රවාදයේ හරයන් හෝ සමානාත්මතාව පසිඳලනු ලැබීමට ඇති ඉඩකඩ අවම විය හැකිය. ඒ වෙනුවට වඩාත් ලෙහෙසියෙන් විය හැකි වන්නේ නවාකාරයේ ෆැසිස්ට්වාදයකට සමාජය ගමන් කිරීම ය. එහි විපාක කුමක් වුව ද අධිනිෂ්චිත තත්තවයන් සිය වෘත්තිමය දේශපාලනය තුලට සාමාන්‍යකරණය වීම නිසා බලය පිණිස තරඟ කිරීම ද ඒ තුල අනන්‍යතාව රැක ගැනීමට දරණ ප්‍රයත්නයන් හේතුවෙන් සමාජ ප්‍රගමනයේ ප්‍රගතිශීලී දයලෙක්තිකය අඳුරු වී යෑම ඉතිහාසය තුල දැකිය හැකිය. නිශ්චිත සමාජීය තත්ත්වයන් තුල දී දර්ශනයේ දිළිඳු බවින් ගන්නා තීරණ හේතුවෙන් වැරදි වෙනස්කම්වලට භාජනය වන සමාජය නැවත නිවැරදි කර ගැනීම දර්ශනය නිවැරදි කර ගැනීමට වඩා සිය ගූණයකින් අසීරු විය හැකි බවට ඇති හොඳම නිදසුන මෙම පාර පශ්චාත් අවධියය.

වසර හැටකට අධික මෑත ඉතිහාසයේ වාමාංශික භාවිතාව දෙස බැලූ කල, මාක්ස්වාදී දේශපාලනයට ජාතිකවාදී භාවිතාව පැමීණීමේ ඓතිහාසික බලපෑම එක් අතකින් යටත් විජිත දේශපාලන භාවිතාව හේතුවන අතර අනෙක් අතට තම අනෙකා හා කරන දේශපාලනයේ දී අදූර දර්ශීවීම ද  ලංකාව සාර්ව හා ශුද්‍රාකාරයෙන් හඳුනා ගැනීමට නොහැකි වීම ලෙස පෙන්විය හැකිය. පුළුල් අර්ථයෙන් අපෝහකය තේරුම් නො ගැනීමය. ප්‍රධාන වශයෙන් ලංකා සම සමාජ පක්ෂය, ලංකා කොමියුනිස් පක්ෂය හා ඉන් පසුව බිහි වූ වාමාංශික දේශපාලන ධාහරාවන් ද සෘජු ජාතිවාදීත්වයක් පෙන්නුම් නොකළ ද දාර්ශනික වශයෙන් ජාතිකවාදී ය. වාමාංශික ව්‍යාපාරයේ නූතනම ප්‍රකාශනය ලෙස ජනතා විමුක්ති පෙරමුණ සිය සමස්ථය තුල පෙන්නුම් කරන යථාර්ථය ද ජතිකවාදයමය. එය සෙසු වාමාංශික ධහරාවන්ට වඩා ඉතා ග්‍රම්‍ය ලෙසත් රැඩිකල් ලෙසත් ජාතිවාදය ප්‍රකට කරන ජාතිකවාදයක්ය. විනාශයන් ගණනාවකට වගකිව යුත්තන් වුවත්, පාඩම් නූගතුන්ය. මතවාදීමය කාරණා මත යැයි කියමින් ඉන් ඉවත් වූ පිරිස්ගේ ද වෙනසක් පෙන්නුම් කරීමට තරම් පරිණත කමක් පෙන්වන්නේ ද නැත. එහෙත් සමාජ අවකාශය බලාගෙන සිටිනු ඇත. මේ සියල්ල පුද්ගලයින් ලෙස ජාතිවාදීන් නොවීමට නොගන්නා උත්සාහයක් ද නැත. ප්‍රායෝගික ක්‍රියාමාර්ග තේරීමේ දී ද එය පෙන්නුම් කිරීමට සමත් වන්නේ වුවද, සිංහල මහ ජාතික අනන්‍යතා අර්බුදය තුල ජාතිකවාදයෙන් පිට පැනිය නොහැකි වී ඇති අතර ඊට උපකාරක ශක්තිය සුළු ජාතික ජාතිකවාදයත්, සෝවියට් සමාජවාදයත්, යටත්විජිත විමුක්ති අරගල පිළිබඳ ප්‍රවාදයනුත්, පශ්චාත් යටත් විජිත රාජ්‍යයන් තුල ස්ථාපිත වි ඇති ප්‍රජාතණ්ත්‍රීය ව්‍යුහයන්ගේ ඇති ගැටලුවත් විසින් මාක්ස්වාදය සිංහල ජාතිකකරණය වීමටකට පටු වී ඇත. ඉහත හැඳින්වීම පදනම්ව මෙම ප්‍රවාදය ඉදිරියට ගෙන යැමේදී, සිංහල දේශපාලන කථිකාව තුල සිටින බුද්ධිමතුන් අතර මේ මොහොතේ දී,මතවාදීමය වශයෙන් වඩාත් බල සම්පන්න දාර්ශනිකයින් දෙදෙනෙකු පමණක්  ලාංකීය සිංහල සමාජයේ අධිනිශ්චය වී ඇත. ඔවුන් දෙදෙනා වනාහී මහාචාර්ය නලීන් ද සිල්වා සහ දීප්ති කුමාර ගූණරත්නය ය. මෙම තේරුම් ගැනීම මගේ පුද්ගලික නිරීක්ෂණයක හා අවබෝධයේ අංශුමාත්‍රයක් වන්නේ වුවත්, එය එසේ නොවන්නේ නම්, දහසක් ප්‍රවාද ගොඩනැංවීමේ අවකාශයට ඉඩතැබිමට මෙයම අවස්ථාවක් වනු ඇත.
ලෙඩෙකු කරතියාගෙන අතීතයට දුවන වෛද්‍යවරයෙකු වශයෙන් මහාචාර්ය නලින් ද සිල්වාත්, එම ලෙඩාම කීතු කීතු කරමින් ව්‍යච්ඡේදනය කරන වෛද්‍යවරයෙකු වශයෙන් දීප්ති කුමාර ගුණරත්නත් යන දාර්ශනිකයින් දෙදෙනාට රූපකාර්ථ නිර්චනයක් දෙමින් මගේ ඉහත ප්‍රවාදයට පිවිසෙන්නෙමි. මෙම දෙදෙනා ප්‍රවාහයන් දෙකක් ලෙස ගතහොත් අතීතය හා අනාගතය ලෙසත් ඉල්ලම් සහිත පෙදෙස් සොයා මැණික් සොයන්නන්ය. ආදරය හා වෛරය අතර සැරිසරන්නන්ය. බුද්ධිය හා තර්කය අතර සංවාද ගතවන්නන්ය. ශිෂ්ටත්වය හා ම්ලේච්ඡත්වය සොයන්න්නය. විකල්පයකට පාර කපන්නන්ය. නූතන ලාංකීය සිංහල දේශපාලන විඥ්ඥාණය මේ වටා භ්‍රමණය කරවන්නන්ය. අරමුණ වෙනුවෙන් ජීවත් වෙමින් පරමාදර්ශයට ආලෝකය සපයන්නන්ය.මෙම විග්‍රහය අලංකාරෝක්තික අගය කිරීමක් ලෙස කෙනෙකුට සිතුණත්, එය වනාහි යථාර්ථයට ලංවන කැඩපතකි.මෙහිදී නලින් ද සිල්වා ජාතිකවාදී දාර්ශනිකයා බවට පත් වීම හා ඔහු වටා භ්‍රමණය වන ලාංකීය සිංහල දේශපාලනය ලාංකික ජාතියක් ලෙස ගොඩ ඒමේ ගැටලුවේත්, සුළු ජාතික පීඩනයේ සමාජ වෛරසය බවට පත්වීමේත්, ලෝකය පිළිබඳ දැක්ම දූපත් මානසිකත්වයටත් ඉන් එහාට පැමිණ සිංහල ජාතියේ ලෝක දැක්ම දක්වා පටුවීමේ සන්දර්භය මුල් අධියරේදී පරීක්ෂාකිරීමට ගන්නා කුඩා උත්සාහක් ලෙස මෙසේ සටහන් තබමි.

පළමු ප්‍රවාදය: නලීන් ද සිල්වා ජාතිකවාදී මතවාදයේ දාර්ශනිකයා ලෙස-
මෙම ප්‍රවාදයට පිවිසීමේ දී මුලින්ම එල්ලවිය හැකි ගැටලුව හා චෝදනාව වන්නේ ගුණදාස අමරසේකරට හිමිවිය යුතු තැන කුමක් ද යන්න ය. ඔහු ජාතිකවාදී මතවාදයේ දාර්ශනිකයා නොවන්නේ ද යන්නය. එහෙත් ඊට ඇති කෙටි පිළිතුර නම් ඔහු ද නලීන් පිටුපස සිටවිය යුතු තැනැත්තෙක් යන්නය. එහෙත් ඔහුගේ ඇති ඓතිහාසික දේශපාලනික වැදගත්නම වන්නේ මාක්ස්වාදය ජාතිකකරණයට ලක් කිරීම පිණිස හා ජාතිකවාදයට ගැටගැසීමට නියෝජනාත්මක දෘෂ්ටිවාදය සපයන්නන් අතර ප්‍රබලයකු විම නිසාය.   අමරසේකර හා  නලීන් අතර ඇති වෙනස නලීන් ද සිල්වාට අනුවම  මෙසේ හඳුනා ගත හැකිය.
‘‘අමරසේකර මහතා තෝට් යන්න චින්තනය ලෙස පරිවර්තනය කළේ ය. එය ඉතා ලිහිල් විසිරුණු අදහසකි. ඉංගිරිසියෙන් තෝට් යන්නෙහි ඇත්තේ දාර්ශනික අදහසක් නො වේ. තෝට් යන්න නාම පදයක් ලෙස සිතුවිල්ල සමග සම්බන්ධ ය. එය තින්ක් යන පදය සමග ද සම්බන්ධ ය. කෙසේ වෙතත් ජාතික චින්තනය යන්න බොහෝ කලක සිට මෙරට ජාතිකවාදීන් යොදාගන්නා පදයකි. පනහේ දශකයේ මුල් අවධියේ හරිශ්චන්ද්‍ර විජයතුංග, බැසිල් සිල්වා, රත්නකාර, ජේ ආර් පී සූරියප්පෙරුම ආදී මහතුන් විසින් ද, ඉන් පසු අසූවේ දශකයේ මුල දී පමණ ජී අයි ඩී ධර්මසේකර, කුලියාපිටියේ ප්‍රනන්දු ආදී මහතුන් විසින් ද ජාතික චින්තනය යන්න යොදා ගනු ලැබ ඇත.

එහෙත් ඒ සියළු දෙනා එකම අරුතකින් ජාතික චින්තනය යන්න ව්‍යවහාර කළේ යැයි මෙයින් නො කියැවෙයි. ඔවුහු එය කුමක් දැයි පැහැදිලි නො කළහ. මේ ව්‍යවහාරය යොදාගත් බොහෝ දෙනා එසේ කළේ මාක්ස්වාදී ව්‍යාපාරය හරිමග යැවීමට ය. ඔවුන්ගේ අදහස වූයේ මාක්ස්වාදී පක්‍ෂ ගොරහැඩි ලෙස මාක්ස්වාදය අනුකරණය කළ බවත් එහෙත් එය අපේ රටේ ව්‍යවහාර කළ යුත්තේ යම් ජාතික චින්තනයක් සමගින් බවත් ය. ඔවුන්ගෙන් ඇතැමකුට අනුව මාක්ස්වාදය මෙරට මුල් බැස නොගත්තේ මාක්ස්වාදී පක්‍ෂ එය නිර්මාණාත්වයකින් දේශයට ගැලපෙන ආකාරයකින් යොදා නොගැනීම නිසා ය.

ඒ අයට අවශ්‍ය වූයේ මාක්ස්වාදයට ජාතිකත්වයක්, ජාතික චින්තනයක් ලබා දී එය දේශයට ගැලපෙන ආකාරයකින් යොදා ගැනීමට ය. ගුණදාස අමරසේකර මහතාට අවශ්‍ය වූයේ ද එවැන්නකි. විශ්ලේෂණාත්මක මනසක් ඇති බවක් පෙන්වා නොමැති ඒ මහතා අබුද්දස්ස යුගයක් පොතෙහි ඒ පිළිබඳ ව සාකච්ඡා කළේ ය. එය කියවූ සූරියප්පෙරුම මහතා ඒ පිළිබඳ ව කළ තම විවේචනයක අනගාරික ධරමපාලතුමා මාක්ස්වාදී ද යන ප්‍රශ්නය නගා ඇත. ගුණදාස අමරසේකර මහතාගේ ඊළඟ කෘතිය අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද ලෙස නම් කෙරිණි.

ඉන්පසු අමරසේකර මහතා ලියූ එක් අසත්‍ය කතාවක් හා ප්‍රේමයේ සත්‍ය කතාව යන කෙටි නවකතා දෙක මාක්ස්වාදය හා ජාතිකත්වය එකතු කළ යුතු ය යන අදහස මත පිහිටා ලියුවේ වෙයි. එහෙත් ඒ එකතු කරන්නේ කෙසේ ද යන්න එහි දී සාකච්ඡා නො කෙරිණි. අමරසේකර මහතා ජාතික චින්තනය යන්න යොදා ගත්තේ 1986 දී ය. මේ වන විට ද අපි චින්තනය යන සංකල්පය නිර්මාණය කර තිබිණි. අපට එය දාර්ශනික සංකල්පයක් විය. අපට දැනුම ලබාගැනීම කෙරෙන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නයක් විය. දැනුමේ පදනම කුමක් ද ආදී ප්‍රශ්න එකල අප අතින් සාකච්ඡා විණි
ඒ කුමක් වුවත් අපේ චින්තනය යන සංකල්පය දාර්ශනික සංකල්පයක් විය. එය අමරසේකර මහතාගේ ජාතික චින්තනය පිලිබඳ විසුරුණු අදහස නො වී ය. චින්තනය යන්න දැනුම නිර්මාණය කිරීම, අවශෝෂණය කිරීම, සම්බන්ධයෙන් විය. එහෙත් ජනමාධ්‍යයට හා දේශපාලනයෙහි යෙදෙන්නන්ට වඩා වැදගත් වූයේ ජාතික චින්තනය යන සංකල්පය ය. අමරසේකර මහතාගේ අදහස ප්‍රචලිත වූයේ 1986 අගභාගයෙහි දී රත්නපුර නගර ශාලාවෙහි දී ජාතික චින්තනය සම්බන්ධයෙන් කරන ලද කතාවකින් පසුව ය. ඒ මහතා තම දේශනය කල්තබා ලියාගෙන විත් කතාව කිරීමෙන් පසුව දිවයින බදාදා අතිරේකයෙහි පළ කළේ ය.

රත්නපුර නගර ශාලාවෙහි දී එදින ම මා ද කතාවක් කළ නමුත් ඒ පිලිබඳ ලියවිල්ලක් මා සතු නොවූයේ මා දේශන කලින් පිළියෙළ කර ඒ නොලියන බැවිනි. මා එදින ද කතාකළේ බටහිර විද්‍යාව හා චින්තනය පිලිබඳ ව ය. ඒ කතාව පුවත්පතක පළ නො වී ය. අමරසේකර මහතාගේ ලිපිය පළවීමෙන් පසුව විවිධ කුලවල මාක්ස්වාදීහු ද එයට විරුද්ධව ලිපි පළ කළහ. එහි දී ජාතික චින්තනය වෙනුවෙන් කරුණු ඉදිරිපත්කිරීමට මට ද සිදු විය. එහි ප්‍රතිඵලයක් වූයේ අමරසේකර නම් රට පිළිගත් සාහිත්‍ය විශාරදයාගේ ජාතික චින්තනයේ ඇබිත්තයකු ලෙස මා සලකනු ලැබීම ය. (කාලය)

අමරසේකරගෙන් සුවිශේෂී වන නලීන් ද සිල්වා, සිංහල බෞද්ධ ජාතික චින්තනය මත සිය සියළුම ස්කන්ධයන් තබමින් ශපථ කර සිටින ප්‍රාර්ථනය යනු එසේ මෙසේ ප්‍රාර්ථනයක් නොව, පාරමිතා පුරමින් බුද්ධත්වය සාක්ෂාත් කර ගන්නා තරමටම අසීරු කටයුත්තක අපගේ ජාතිකවාදයේ දර්ශනවාදියා පෙනි සිටින්නේය. ඔහු තම පරමාර්ථය වෙනුවෙන් භෞතිකවාදයේ සිට පාර භෞත්කවාදයටත්, මනුෂ්‍යයින්ගේ සිට දෙවියන් යක්ෂයන් සමඟත් කටයුතු කරමින් තම ඒකායන ප්‍රාර්ථනයට දිවා රැය දෙක වෙහෙසෙන්නේය. එහිදී 2009 මැයි මස තම භෞතික රාජ්‍ය ස්ථාපිත කර ගැනීමට හැකිවිය. එය භෞතික පරම සිංහල රාජ්‍යය වන්නේය. බටහිර හා අධිරාජ්‍යවාදය මත නිෂ්චය වී තිබුණු තම පරසතුරුභාවය යටපත් කිරීමෙන් ලඟාකර ගත් සිංහල රාජ්‍යය. ඉන් නොනැවතී ඉන් එහාට උරුමකර ගත හැකි අතීත පාර රාජ්‍ය වෙනුවෙන් දාර්ශනික සිහින දකින්නේය. එය අවසානයකින් කෙළවර වන්නේ නම් විය යුතු වන්නේ සිංහල බෞද්ධයින් හැර අන් කිසිවකු නොමැති පරම පාර අතීත කල්පිත රාජ්‍යයකි. එය එසේ වන්නේ නම්, පට්ටපල් බොරුවක්ව ඇති බටහිර විද්‍යාව ප්‍රමුඛ සියලු ආදර්ශයන් දිවයිනෙන් අතු ගාදැමිය යුතුය. එවිට අධිරාජ්‍යවාදය හා සම්බන්ධිත සියලු ව්‍යුහයන් විනිර්මුක්ත වන අතර බෞද්ධ දර්ශනය පදනම් වූ පරම සමාජ මොඩලයක් ලංකාව තුල ස්ථාපිත වනු ඇත.ඒ අනුව කසි කබල් මාක්ස්වාදය ද, සමාජවාදය ද භූමියෙන් අතුගෑවි යනු ඇත. දෙමළ මුස්ලිම් සුළු ජාතීන් පැරණි සිංහලයින් බුදු දහමට අවනත වූවන් හෝ අනුවර්තනය වූවන් සේ සිංහල බෞද්ධ අණසක යට ශීලාචාර විය යුතු ය.  

ඔහුගේ ජාතික චින්තනයේ ඇති බරපතල කම සහ එහි ඇති දිග පළල හේතුවෙන් මේ පිළිබඳ වන ප්‍රවේශයට ප්‍රවිශ්ට වීමට එකම දොරටුවක් ප්‍රමාණවත් නොමැති බැවින් ප්‍රවේශයට පහසුව පිණිස දොරටු කිහිපයකින් උප ප්‍රවාද ගොඩ නගා ගැනීම සංකීරණත්වයෙන් ගොඩ ඒමට ඇති පිළියමකි. එසේම කර තියාගත් රෝගියා රැගෙන දුවන අතීතයේ මං සළකුණු සෙවීමටත් පහසු වනු ඇත. ඒ අනුව විග්‍රහයේ පහසුව පිණිස මෙලෙස උප ප්‍රවාදයන් ලෙස කොටස් කරගත හැකිය.
යටත් විජිතවාදය හා ධර්මපාල ප්‍රවාදය
ලාංකිය ඉතිහාසය පිළිබඳ ප්‍රවාදය
බුදු දහම පිළිබඳ පුවාදය
ධනවාදය හා අධිරාජ්‍යවාදය පිළිබඳ ප්‍රවාදය
මාක්වාදය පිළිබඳ ප්‍රවාදය
පශ්චාත් යටත් විජිතවාදය පිළිබඳ ප්‍රවාදය
පාර පශ්චාත් යටත් විජිතවාදය පිළිබඳ ප්‍රවාදය
මේ ආදී වශයෙන් ඔහුගේ දර්ශනය තේරුම් ගැනීමටත් ඒ තුලින් ලාංකීය සමාජයේ සෙසු ව්‍යුහයන් තේරුම් ගැනීම ඉදිරියේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.
උදය ආර්.තෙන්නකෝන්


Wednesday, April 3, 2013

අප්‍රේල් අරගලය සැමරීම සහ බහුවිධ ආඛ්‍යානයක එක් ආඛ්‍යානයක් වීම


කියුබානු විප්ලවයේ මාතාව ලෙස සැලකෙනුයේ මොන්කාඩා බැරැක්කයට එල්ල කරන ලද ප්‍රහාරයයි. එය ඉතාම පහසුවෙන් මර්ධනය කිරීමට බැටිස්ටා රජයට පහසු වූයේ ෆිදෙල් කස්ත්‍රෝගේ නායකත්වයෙන් සැලසුම් කරන ලද ජූලි 26 ව්‍යාපාරය නමින් යුත් කුඩා කණ්ඩායම විසින් ක්‍රියාත්මක කරන ලද අදූර දර්ශී, තරුණ ගැටවරයන්ගේ  බොළඳ ක්‍රියාවක් නිසා බව කියුබානු ඉතිහාසය සඳහන් කරයි. එහෙත් එහි පරමාර්ථ කැපවීම හා අවංකත්වය යන ගුණාංගයන් විසින් ද එයින් ලැබූ අත්දැකීම් හා විප්ලවීය පෞර්ෂය ද යන සියල්ල හේතුවෙන් ෆිදෙල් කැස්ත්‍රෝට පසුව කියුබානු විප්ලවය යන නාමය කියුබානු ඉතිහාසයට එතකු කිරීමට හැකි වූ නිසාවෙන් මොන්කාඩා ප්‍රහාරය යනු කියුබානු විප්ලවයේ මාතාව(mother of Cuban revolution) බවට පත්ව ඇත.
මෙකී රූපකයෙන් සංඥා කරන අර්ථය 71 අප්‍රේල් කරැල්ලට ආදේශ කරමින් විප්ලවයේ මාතාව හෝ විප්ලවය යැයි කීමට තරම් ඉතිහාසයක් ලාංකික අපට ඉතිරි කර නොතිබුණ ද, 71 අරගලය යනු පරමාද්ශීය අරගලයක් යැයි ද, කැපවිම, අවංකත්වය හා සමාජ අසාධාරණත්වයට හා යුක්තිය උදෙසා කරන ලද පරිත්‍යාගයක මාතාවක් යැයි කීම හා මානව ගුණාංගයන්ගෙන් පිරුණු අරගලයක් යන අර්ථයෙන් ලාංකිය සමාජය උඩු යටිකුරු කළ සංසිද්ධියක් ලෙස හැඳින්විම අදටත් වලංගුවක්ව ඇත.

මීට වසර හතලිස් දෙකකට පෙර ලංකා ඉතිහාසයේ බක් මාසය යන්න සමාජය තිගැස්මකට ලක් කළ පෙර නොවූ විරූ චලනයක් ඇති කළ අවස්ථාවක් යැයි කිම අසත්‍යයක් නොවනු ඇත. අප්‍රේල් නඟිටිම, අප්‍රේල් අරගලය, හැත්තෑ එකේ කැරැල්ල, හා හැත්තෑ එකේ අරගලය යනා දී විශේෂණ යෙදුම්වලින් වසරින් වසර මෙනෙහි කරන ඉතිහාසයේ කථාන්දරය සුන්දර නොවුවද ලංකා සමාජයේ එක් සුවිශේෂී කොටසකට විර කාව්‍යයක් බඳු ය. ඒ වනාහී අරගලයට සහභාගී වූ වන්ටය. අරගලයේ දී මිය ගිය සගයන් විරුවන් ලෙසින් මිහිදන් වෙද්දී ජීවත්ව මිය ගිය, තවමත් ජීවත්ව සිටින එම අරගලයේ සටන් සගයන්  එක් එක් මතවාදයන්ට, දේශපාලනයන්ට අනුව විවිධාකාරයේ නිර්වචනයන් සහිත පුද්ගලයන්ය. වරෙක ද්‍රෙහීන් ලෙස ද, සංශෝධනවාදීන් ලෙස ද, විඥ්ඥානවාදීන් ලෙස ද, තියරිකාරයින් ලෙස ද, පිස්සන්, විහිළු කාරයන් ආදී බොහෝ හැඳින්වීම්වලින් යුක්තව හංවඩු ගැසී ඇත්තේ ජවිපේ නො වන්නන් ය. සමස්ථයක් ලෙස ජවිපයට අනුව ඔවුන් ද්‍රෝහීන් ය. මේ දක්වා අප්‍රෙල් අරගලයේ උරුමය රැගෙන ආ වුන් අතර ජීවත්ව සිටින හෝ එහි සිට මිය ගිය සගයන් හැරුණු විට සෙසු අනෙකා ලඝු වනුයේ ද්‍රෝහීන්ගේ ගොඩටය. මෙම ද්‍රෝහීන්ගේ ඉතිහාසය ලියන ඉතිහාස කරුවා කවරෙක් ද? ඉතිහාසය හදාරන්නට පෙර ඉතිහසඥයා හැදෑරිය යුතු යැයි රුසියානු ඉතිහාසකරුවකු වන ඊ. එච් කාර් ඉතිහාසය යනු කුමක් ද යන අධ්‍යයන කෘතියේ පැවසීම සැලකිල්ලට ගත යුත්තකි. එක් අරගලයකට සම්බන්ධ වූ එකම සගයන්, එම අරගලයේ දින සැමරුමේ දී ම, කොටසක් ද්‍රෝහීන් ද කොටසක් විරුවන් ද වීම යන අර්ථකතනයන්ගෙන් මෙතෙක් ගොඩ නගා ඇති ඉතිහාසය ඒක පාර්ශවීය ඉතිහාසයක් බව කිව යුත් සේම, ඒ තුලින් කරන ලද සමාජ හානිය පිළිබඳ පශ්චාත් පරීක්ෂණයක් පැවැත්වීම, අප්‍රේල් අරගල කරුවන්ට සහ අරගලයක ආනාගත පරමාර්ත සඳහා ද වැදගත්වනු ඇත.
අප්‍රෙල් අරගලය යනු  තනි මිනිසකු ගේ හෝ කිහිප දෙනෙකුගේ ක්‍රියාවක් නොවූ අතර එය මුළු මහත් සටන් කාමීන්ගේ ක්‍රියාවලියක සමස්ථයකි. එහෙත් අප අප්‍රේල් අරගලය යන්න තේරුම් ගන්නට ඇති මතවාදයන් හා ආඛ්‍යාන මත බැස ගන්නා නිගමන මත වීරයා ද ද්‍රෝහියා ද යන්න තීරණය කරනු ලැබුවද, අදාල සිදුවීමට මෙම දෙදෙනාගේම දායකත්වය ලැබි ඇත. එහෙත් සත්‍යය යන්න එකක්ම නොවන බව තේරැම් ගන්නේ කෙසේ ද.

විරුවා පිළිබඳ ගොඩනැංවිම කෙසේ වුවද ද්‍රෝහියෙකු විම පිළිබඳ ඇති ගොඩනැංවීමේ සත්‍ය ගවේශනය කළ යුත්තකි. සත්‍ය යනු එකක් ද නැතිනම් ඊට පැති කහිපයක් ඇත් ද යන්න බැලීමේ දී ආඛයාන පිළිබඳ අධ්‍යයනය වැදගත් වේ. අප්‍රේල් අරගලය යන්න ද බහුවිධ ආඛ්‍යානයන්ගෙන් යුක්ක වූ මාහා ආඛ්‍යානයකි. අරගලයේ සිදුවීම් පදනම්ව පසුකාලිනව ඇතිවන බෙදීම්වල සත්‍ය තේරුම් ගත හැකි වන්නේ පුද්ගල ආඛ්‍යානයන් සම්ස්තය සමග ගැට ගැසිමේ දී තේරුම් ගන්නා සත්‍යට අනුවය. මේ අනුව වීරයකු වීම හා ද්‍රෝහියෙකු වීම යන සත්‍යෙය් පරමාර්ථය වන්නේ  සමාජවාදය යන සංකල්පය වෙනුවෙන් කැප වී ක්‍රියා කිරීම යන්න ය. එහි දී එයට එරෙහිව ක්‍රියා කළ පුද්ගලයන් ද්‍රෝහී ගණයට නම් කළ ද, එසේ නම් කිරීමේ සත්‍යෙය් පරිසමාප්තියක් ඇත් ද යන්න පිළිබඳ සිතිය යුතුය.

සත්‍ය එකක් නොව සත්‍යයට පැති කිහිපයක් ඇති බව තේරැම් ගැනිම මෙම ගැටලුවට යම් පිටුවහලක් වනු ඇතැයි සිතමි. මෙය යම් ආකාරයකට තේරුම් ගැනීමට හැකි ක්‍රමවේදයක් ලෙස  රෂෝමෝන් ආඛ්‍යානවේදය (Rashomon Narrotology) යන ක්‍රමවේදය හඳුන්වාදිමට කැමැත්තෙමි. රෂෝමෝන් යනු ප්‍රකට සිනමාකරුවතකු වන අකිර කුරසාවා විසින් නිර්මාණය කරන ලද ජපන් චිත්‍රපටයකි. චිත්‍රපටයට පසුබිම් වූ, අකුතගාවා නම් කෙටිකතාකරුවා විසින් රචිත කෙටි කතාව වන රෂෝමොන්, මෙම වස්තු බීජයට පදනම් සංකල්පය වේ. කුරසාවා තම චිත්‍රපටය තුලින් කීමට උත්සාකරනුයේ සිදු විමක් වූ කල එම සිදු වීමේ සත්‍යයට පැති කිහිපයක් ඇති බවය. එයට සහභාගී වන්නාගේ දෘෂ්ටිවාදයේ සිට ඔහු හෝ ඇය දකින සත්‍යය ය පිළිබඳවය ය. සිදුවීම සත්‍යය වුව ද සිදුවීම අර්ථ කතනය කිරීමේ   සත්‍යයට ප්‍රවේශයන් ගණාවක් තිබිය හැකිය. සිද්ධිය නැතිනම් කරුණ (Fact) අර්ථකථනය කරන්නා සහ කරනු ලබන විදිය අනුව සත්‍යය වෙනස් විය හැකිය.

ප්‍රස්තුතයට අදාලව අප්‍රේල් අරගලයේ ද්‍රෝහීන් වීමේ හෝ විරුවන් විමේ සත්‍යය කාගේ සත්‍යයක් දැයි තේරුම් ගැනීමට අවශ්‍ය කාල වකවාණුවක් වන්නේ, එය එක් අධිපති මතවාදයක බලයෙන් යටත්කර, නිහඬ කර, මර්ධනය කර ඇති බොහෝ අප්‍රේල් අරගලකරුවන්ගේ දැනුම, ඥාණය, අවංකත්වය, කැපකිරීම, පරමාදර්ශිභාවයන් විලෝමය ද සත්‍යයක් යන්න පසක් කරමින් සිටින බැවිනි. ගොඩනංවන ලද ඉතිහාසය හා එහි ක්‍රියාකාරීත්වය විසින් අනෙකා පිළිබඳ කරන ලද අර්ථ ගැන්වීම් දෙස නැවත හැරී බැලීමේ වැගත්කම සමාජීයව හා දේශපාලනිකව වැදගත්විම තුල පැරැණි ඉතිහාසයේ ගොඩනැංවීම් ප්‍රශ්න කිරීමට බලකරමින් සිටිනු ඇත. ඒක පාක්ෂික බලාධිකාරී මතවාදයක් විසින් පටවා ඇති පරම සත්‍ය  නැමැති මිණුම් දණ්ඩෙන් මැන ඇති සියල්ල සාපේක්ෂ සත්‍ය සොයා ගැනීමට අන්ධබවින් එලියට පැමිණිය යුතුව ඇත. එය මෙම යුගයේ නව දේහපාලනය සඳහා වන ප්‍රගතිශීලී පියවරක් ද වනු ඇත.
අප්‍රේල් අරගලය අසාර්ථක උත්සාහයක් වීම හේතුවෙන් අති බහුතරයක් වූ ක්‍රියාකාරීන්ට හිර ගෙවල් හිමිවිය.වධ බන්ධන උරුම විය. අරගලය සිදු වූ අයුරු, නායකත්වය ක්‍රියා කළ අයුරු සහ මතවාදයන් පිළිබඳව හිර ගෙවල් තුල මෙන්ම ඉන් පිටතදී එසේම වෙනත් හේතූන් නිසාවෙන් ද ජවිපේ නායකත්වය සමග විසන්වාධයන්ට ලක්විය. බොහො පිරිස් ක්‍රමිකව තමන්ගේ පක්ෂයෙන් වෙන්වීම හා වෙන් කිරීම තුල අනෙකා බවට පත් වූ අතර ජවිපේ දැක්මෙන් ඔවුන්ව ද්‍රෝහීන් බවට පත්විය. මෙම ද්‍රෝහින්ගේ ඉතිහාසය යනු තවමත් ශුද්‍ර ඉතිහාසයකි. එහෙත් මෙම ද්‍රෝහීන් ප්‍රමුකව සියලු දෙනා විසින් අප්‍රේල් අරගලයේ දි බිහිකළ සමාජ දේශපාලන සංස්කෘතිය වැදගත් සලකුණක් ලෙස ද ඉන් පසු පශ්චාත් අරගල යුගය තුල සමාජ චින්තනයේ දිශාව වෙනස් මානයකින් ද සලකුණු කරන්නට විය. දේශපාලනය හා ප්‍රතිපත්ති, කලාව හා සාහිත්‍යය ද, භාෂාව හා සම්ප්‍රදායන් ද වෙනස් කෝණයන්ගෙන් විග්‍රහවන්නට විය. ලංකාව තුල කේන්ද්‍රෙය් සිට පරිවාරය දක්වා මෙම චලනය සිදුවිය. කැරලිකරුවන්, අරගලකරුවන්, විප්ලවාදීන්, චේගුවෙරාකරුවන් යන අන්‍යයතාවලින් පමණක් නොව ත්‍රස්තවාදීන් යන නාමය ද මුලින්ම යොදන්නට ඇත්තේ (නිවැරදි නම්) මෙම අරගල කරුවන්ට විය හැකිය. (මගේ මිතුරෙකුගේ මැදිරිගිරිය ගමෙහි කැරැල්ලට සහභාගී වූ   පුද්ගලයෙකුට කැරැල්ලෙන් පසු භාවිත කර ඇති අන්වර්ථ නාමය ත්‍රස්තවාදි අත්තා යන්නය. මැත දේශපාලනයේ දී ඔහුගේ මුනුපුරාද ත්‍රස්තවාදීයෙකු ලෙස හංවඩු ගසද්දී, ඔහුව ත්‍රස්තවාදියෙකුම කරමින් විරුද්ධ වී ඇත්තේ ත්‍රස්තවාදි අත්තාගේ පවුලම බව මිතුරා සඳහන් කරන්නේ එහි ඇති උත්ප්‍රාසය ජනනය කරමිනි.)
රටක රාජ්‍යයකට, එවකට රැජිණගේ ව්‍යවස්ථාවට එරෙහිව කැරළි ගැසූවන් රාජ්‍යෙය් මතවාදවය විසින් සමස්ථයම ද්‍රෝහීන් ලෙස නම් කිරීම  තේරුම් ගැනීම හා අරගලය හා එහි ව්‍යුහය තුලම ද්‍රෝහීන් තේරුම් ගැනීම වෙනත් අර්ථයකින්  කළ යුත්තකි. කැරැල්ලෙන් පසුව කණ්ඩනය වු සමස්තය ප්‍රධාන වශයෙන් කොටස් තුනක් ලෙස වර්ධනය වීම අද දක්වාම ලංකා සමාජයට බලපෑම් සහගත වි ඇත.

පළමුකොටස රෝහණ විජේවිරගේ නායකත්වයෙන් යුතුව ජනතා විමුක්ති පෙරමුණ ලෙස ද (එයින් ද කලින් කලට කැඩී වෙන්වන්නට විය). දෙවැන්න, ජවිපේ සමඟ එක් නොවූ පිරිස අනෙකා බවට පත් වූ සියල්ල ද්‍රෝහින් ලෙස අනන්‍යවන්නට විය. තුන්වැන්න ඉහත දෙකටම අයත් නොවී නිහඬව සමාන්‍ය ජීවිතයට හුරුවන්නට විය.
මෙහිදී අවධානය යොමු කළ යුතු කොටස වන්නේ මෙම ද්‍රෝහීන් කොටසය. ඔවුන් ද්‍රෝහීන් බවට පත් වූයේ කෙසේ ද, ඔවුන් පිළිබඳ ගොඩනංවන ලද ඉතිහාසය කාගේ ඉතිහාසය ද, ඔවුන් අප්‍රේල් විරුවන් වන්නේ ද නොවන්නේ ද, එය කාගේ මිනුම් දණ්ඩෙන් ද. මෙකී අවබෝධය වැදගත් වන්නේ සමාජ භාවිතාව හා ඉතිහාසය විසින්  සමාජය හා මිනිසුන්ව නිවැරදිව දකින්නන් වූවන් සම්මා දිට්ඨිවාදින් ලෙසත් වැරදිව දකින්නන් වූවන්  මිථ්‍යා දිට්ඨිවාදින් ලෙසත්  ඉතිහාසගත කරනු ලැබ ඇති අතර  මෙහිදි  විමසිය යුත්ත වන්නේ මෙම ප්‍රවදයන්ගේ සත්‍යය විලෝමය බවට පත්විමේ සමාජ විපර්යාසයක් අප හමුවේ ඇති නිසාවෙනි. විරුවන් ද්‍රෝහින් ද, ද්‍රෝහීන් විරුවන් ද විම තුල අප්‍රේල් විරුවන් යනු මිය ගිය අය පමණක් ද නැති නම් ජීවත්ව සිටින්නන්  රෂෝමාන් ආඛ්‍යානවේදයට අනුව ද්‍රෝහීන් හෝ විරුවන් කර ගත හැකිය. ඉතිහාසය ලියන්නාට අනුව කුමක් ලීවද කියවන්නාගේ කාර්්‍යෙය් කොටසක් වන්නේ ලියන්නා ද කියවිමය. සත්‍ය ඇත්තේ ඔහුට හෝ ඇයට අනුවය.
මේ අනුව වසර හතලිස් දෙකක් ගෙවෙන මෙම අප්‍රේල් සැමරුමේ සමාජ අර්ථයට ප්‍රවාදයන් තුනක් එක් කිරිමට කැමැත්තෙමි.
1.      විරුවාගේ පාර්ශවය සමාජය විනාශ කළ ද්‍රෝහීන් වීම අඩු වැඩි ලෙස
2.      ද්‍රෝහියාගේ පාර්ශවය සමාජ සංවර්ධනයේ ප්‍රගතිශිලිත්වය වෙනුවෙන් ක්‍රියාකරන විරුවන් වීම අඩු වැඩි ලෙස
3.      හැත්තෑ එකේ අරගලය සමස්ථයක් ලෙස හා ශුද්‍ර ලෙස ආඛ්‍යානගත කළ යුතු වීම.

පළමු ප්‍රවාදය- විරුවාගේ පාර්ශවය සමාජය විනාශ කළ ද්‍රෝහින් වීම අඩු වැඩි ලෙස

ප්‍රවාදයට හේතු- මෙතෙක් වසර හතලිස් දෙකක කාලය පක්ෂයක් ලෙසත්, හැත්තැ එකේ අරගලයේ දිගුවක් ලෙසත් සමාජය විනාශයට මිස මිනිසාට ආදරය කිරීම වෙනුවට වෛරය හා හිංසනය මුදාහැරිම. මානවවාදය වෙනුවට ජාතිවාදය ද ඒ නිසාම ෆැසිස්ට්වාදය ද, අවබෝධය වෙනුවට අන්ධභාවය ද හිමිකර ගැනිම හා භාවිතය
සමාජවාදී,මාක්ස්වාදී කොමියුනිස්ට්  යැයි කියමින් මාක්ස්වාදි කොමියුනිස්ට් විරෝධි වෙමින්  විශාල ජන සංහාරයකට ප්‍රධාන කොටස්කරුවන් වීම. වරෙක තමන්ගේම නායකත්වය විසින්ද දෙවැනුව මර්ධනකාරී රාජ්‍යයට සක්‍රීය ලෙස සහාය දෙමින් ද කටයුතු කිරීම. අවම වශයෙන් ඒ පිළිබඳ හැරී බැලිමක් නොකිරීමේ මුග්ධත්වයෙන් පසු වීම. පැරැණි වමට එල්ලකරන ලද විවේචනය, භාවිතාවේ දී තමන් ඊටත් එහා ප්‍රතිගාමිත්වයකට ගමන් කිරීම. සබෑවටම සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින්නේ ද යන්න කල්පනා කිරීම.

දෙවැනි ප්‍රවාදය- ද්‍රෝහියාගේ පාර්ශවය සමාජ සංවර්ධනයේ ප්‍රගතිශිලිත්වය වෙනුවෙන් ක්‍රියාකරන විරුවන් වීම අඩු වැඩි වශයෙන්
ප්‍රවාදයට හේතු- මොවුන් නිහඬවූවන්ගෙන් ද විරුවන්ගෙන් ද ද්‍රෝහින් වන්නේ විවිධ මත දරන්නන්විම හා ක්‍රියාකාරී දේශපාලනය හා වෙනත් සමාජ කටයුතු කිරීමය. එසේම ද්‍රෝහීන් වනුයේ අරගලය තුල නොව පශ්චාත් අරගල අවධියේ දි ය. හිර ගෙවල්වල ඇතිවන සංවාදයන්ගේ දී හා ඉන් පිටත ද, කාලයෙන් කාලයට ය. ද්‍රෝහීන්ගේ ඇති සුවිශේෂීම ලක්ෂණය වන්නේ කුමන හෝ හැකියාවක් දක්ෂකමක් ප්‍රකට කිරීම. හිර ගෙවල් තුල දී අධ්‍යාපනය ලැබීම හා ඉන් පිටදී විවිධ ක්ෂේත්‍රයන්ගේ ප්‍රවිණයන් බවට පත්වීම හා වැඩි වශයෙන් හිංසනය පිටු දැකීම, ජාතිවාදයට විරුද්ධ වීම හා මානව අයිතීන් හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සාපේක්ෂ අර්ථයෙන් හෝ පෙනී සිටීම. යුධ විරෝධී වීම සහ සමාජය සමස්ථයක් ලෙසත් ශුද්‍ර වශයෙනුත් තේරුම් ගැනීමට ප්‍රවණතාවත් දැක්වීම. මෙහිදී නම් සඳහන් නොකළ ද ප්‍රධාන පෙළේ නායකත්වයේ සිටි පුද්ගලයන් බුද්ධිමතුන් වශයෙන් විවිධ විෂයයන්ගේ කළ ප්‍රශස්ථ නිෂ්පාදනයන් (ප්‍රවාදයන්) විරුවන් විසින් යටපත් කිරීම. අදට පවා ඔවුන්ගේ අදහස්  පක්ෂ කාඩරයට හරාම් කර තිබීම හා ඔවුන්ව පීළිබඳ ගොඩනංවා ඇති චිත්‍රය සම්ප්‍රධායක් ලෙස පවත්වාගෙන යෑම, දේශපාලන කුහකත්වය හා දැනුම හා ඥාණය පිළිබඳව ඇති හිදැස පියැවීමට අසමත් විම. යම් පිරිස් සමාජවාදය වෙනුවෙන් සෘජුව පෙනී නොසිටිය ද, සමාජ වාදය සමාජ පරිනාමයේ අවධියක් ලෙස කල්පනා කරන්නේ නම්, එම පරිනාමය සඳහා වෙනත් ආකාරයෙන් දායක වන අතර, වැරදි භාවිතාවන් සහිත සමාජවාදින්ට වඩා ප්‍රගතිශිලි නොවන්නේ ද යන්න සිතිය යුත්තකි.

තුන්වැනි ප්‍රවාදය- හැත්තෑ එකේ අරගලය සමස්ථයක් ලෙස හා ශුද්‍ර ලෙස ආඛ්‍යානගත කළ යුතුය
ප්‍රවාදයට හේතු- අරගලයේ අත්දැකීම් පදම්කරගත් පොතපත  පුද්ලගලික වශයෙන් ඉතා ස්වල්පයක් බිහි ව තිබුණ ද මතු පරපුරටත්, බහුවිධ ආඛ්‍යානවේදයකින් නිවැරදි කියවිමකට ඇති සමාජීය අවශ්‍යතාව හා වගකීම නිසා, වියැකී යන අප්‍රේල් පරපුරේ කතාව සාර්ව(macro) වේවා ශුද්‍ර(micro) වේවා අඛ්‍යානගත වීම සම්‍ය දෘෂ්ටිය මිථ්‍ය දෘෂ්ටිය වීමටක් එහි විලෝමය වීමට හෝ තුන් වැන්නක් වීමටත් මෙම අත් දැකීම් උපස්ථම්භක වීම. සංවේදී බවේ සිට වීරත්වයත්, අනවබෝධය, අවංකත්වයත්, ත්‍රාසය හා හිංසනයත්, ආධුනිකත්වය හා නිර්මාණාත්මක බවත් ඇතුලු මෙකි නොකි බොහෝ  ජීව ගුණයන් කැටිව ඇතැත්  එය සමාජ ගත විමේ අවමය වීම නිසා අප්‍රේල් අරගලයට තවමත් සාපේක්ෂ සාධාරණයක් ඉටු වී නොමැත.

අප්‍රේල් අරගලය එම අරගලයේ ස්වකීය ඉතිහාසයේ ගුණයෙන් සැමරීම වෙනුවට, එහි පරමාර්ථ හා ආත්මීය ගුණයන්ට පටහැනිව මහා ධහරාවේ සැමරීම් සිදුකිරීම අප්‍රේල් අරගලයට ද, මිය ගිය හා ජීවත්ව සිටින් එහි සැබෑ සටන් කරුවන්ට ද කරනු ලබන අසාධාරණයක් වන අතරම ඉතිහාසකරුවාට ඇවැසි පරිද්දෙන් ගොඩනංවනු ලබන මතවාදය  මිත්‍යා දෘෂ්ටියක්ම වෙමින් අනාගතය නැවත නැවත හොල්මන් කරනු ඇත. එහෙත් අන් සියල්ල නිශ්චලව නොපවතින බැවින් සත්‍යෙය් ඇති තවත් පැතිවල ඇති ආලෝකයෙන් අඳුර දුරු කිරීමට, අඳුර දුරු කරවීමට බල නොකරන තාක්, සිදු නො කරන තාක්, අප මේ අත් විඳින සමාජ අගතිය තව තවත් නපුර වෙතම වර්ධනය වනු ඇත.

හතලිස් දෙවැනි අප්‍රෙල් විරු සමරුවට සාධාරණ අර්ථයක් දිය හැකි වන්නේ  මිය ගිය විරුවන් ද, ජීවත් වන අප්‍රේල් අරගලයේ පරම්පරාව දෙස බහු විධ ආඛ්‍යානවේදය නොහොත් රෂොමොන් අඛ්‍යානවේදයෙන් යුතුව පුද්ගලයා ද ඉතිහාසයද තේරුම් ගැනීමෙන් පමණකි. අලුත් සමාජයකට මළකඩ කෑ පටු දෘෂ්ටිවාදයන්ගෙන් ප්‍රයෝජයක් අත් නොවනු ඇත. අප්‍රේල් සැමරුමට නව අරුතක් ලැබෙනුයේ අවංකව උවමනාවෙන් හා බුද්ධිමත්භාවයෙන් යුතුව හැරී බලමින් ක්‍රියාකිරීමෙන්ම පමණකි.

උදය ආර්. තෙන්නකෝන්- Udaya R. Tennakoon